අනුරාධපුර රාජ්‍ය නිලධාරීන් වගා සංග්‍රාමයට



අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෞද්ගලික වේවා, රජයේ වේවා වගා නොකර නිකරුණේ අත් හැර දමා ඇති සෑම බිම් අගලකම කිසියම් භෝගයක් වගා කිරීමට සියලු රජයේ නිලධාරීන් ගොවිජනතාව සමග අත්වැල් බැදගත යුතු යැයි අනුරාධපුර දිසාපති ආර්.එම්. වන්නිනායක මහතා අවධාරණය කළේය.



ඊයේ (17) දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු මාසික සැසි වාරය අමතමින් කතා කළ දිසාපතිවරයා, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පමණක් නොව, දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම අංශයට සම්බන්ධ නැති සැම රජයේ ආයතනයක්ම එම ආයතන භූමි තුළ ජාතික වගා සංග්‍රාමයට දායක වෙමින් ගෙවතු වගා ආරම්භ කළ යුතු යැයි සදහන් කළේය. රජයේ නිල නිවාසවල හිස් ඉඩම් වහාම භෝග වගාව සදහා යොදා ගත යුතු යැයි ද, රට තුළ ඉදිරියේ දී කිසියම් හේතුවක් නිසා ආහාර අහේනියක් සිදු වීම වළක්වා ගැනීම සදහා එකම පිළියම ජාතික වගා සංග්‍රාමයට හද පත්ලෙන්ම දායක වීම යැයි ද වන්නිනායක මහතා රජයේ නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයින් අමතා ප්‍රකාශ කළේය.



ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පසුගියදා කැකිරාවෙන් වප් මගුල් උත්සවය ආරම්භ කොට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජාතික ආහාර භෝග වගා සංග්‍රාමය ආරම්භ කළා. නියගය තිබුණත්, නියගය අභිභවා දැන් දැන්ම ඉදිරියේ මාස් මෝසම් වැසි බලාපොරොත්තුවෙන් ගෙවතු වගාව සදහා අවශ්‍ය මූලික විධිවිධාන යෙදීමට පියවර ගතයුතුයි. මේ සම්බන්ධයෙන් සියළුම ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කර ඇති අතර, තම තමන්ගේ කොට්ඨාශවල මුලින් කී නිර්නායකවලට අනුව ගෙවතු වගා සදහා උපරිම සහය ලබා දීම සදහා ඔවුන් ක්‍රියා කළ යුතු වේ. වන්නිනායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය

Comments